සීමා මාලකයක් යනු, ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයට අනුව: “සංඝ කර්ම කිරීම සඳහා සීමා වශයෙන් සම්මත මාලකය” ලෙස අර්ථ දැක්වේ. “උපෝසථාගාරයක් ලෙස ද හැඳින්විය හැකි සීමාමාලකය, පොහොය කිරීම හා වෙනත් සංඝ කර්ම සඳහා භික්ෂූන් වහන්සේ එක්රැස්වෙන ගොඩනැගිල්ලයි”. උපෝසථාගාරයේ ආරම්භය පැහැදිලිව, විනය පිටකයේ මහාවග්ගපාළියේ උපෝසථක්කබන්ධකයේ දැක්වේ. එහිදී අප මහා කාරුණිකයාණන් වහන්සේගේ නියමය පරිදි “නිශ්චිත ස්ථානයක නිතර හැසිරෙන නැවක් හෝ නිතර තිබෙන
හෙයක්(පාලමක්) හෝ වන්නේ ද ඒ බඳු ස්ථානයක සීමා සම්මත කිරීම” සුදුසු විය.
උපෝසථක්කබන්ධකයේ සඳහන් පරිදි අප මහා කාරුණිකයාණන් වහන්සේ “මහණෙනි, සඞ්ඝ තෙමේ වෙහෙරක් හෝ ගුරුළුපියාපත් වැනි පියසි ඇති ගෙයක් හෝ පහයක් හෝ සඳලු සහිත ගෙයක් හෝ ගුහාවක් හෝ කැමැති නම්, විහාරාදි එබඳු ගෙයක් පොහෝගෙයක් කොට
සම්මත කර පොහොය කරන්නට අනුදනිමි” ලෙසින් උපෝසථාගාරයක මූලික වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුදැන වදාළහ.
ත්‍රිවිධ රත්නයෙන් සංඝ රත්නය යනු ශාසනයේ පැවැත්ම තහවුරු කරන උත්තරීතර ම වස්තුවයි. එබැවින් සංඝ කර්ම සඳහා ඉදිකරන මෙම සීමා මාලකය ත්‍රිවිධ රත්නය ම විදහා දැක්වෙන සංකේතාත්මක නිර්මාණයක් විය යුතු බව මාගේ හැඟීමයි. ඒ සඳහා මූලිකව “බුදුන්”
නියෝජනය කරන වියුක්ත සංකේතයක් මගින් (Abstract Image) සීමා මාලකයේ හැඩය (Form) නියම විය යුතු බව මම තවදුරටත් සිතමි. මෙහිදී බුදුන් යනු කවුරුන් ද යන වග, අප මහා කාරුණිකයාණන් වහන්සේ අනුදැන වදාළ අලංකෘත දෙබසක්
ඇතුලත් දෝන (ලොක) සූත්‍රය මට සිහියට නැගේ.
බමුණ, යම්සේ උපුලෙක් වේවයි, පියුමෙක් වේවයි, හෙළ පියුමෙක් වේවයි, දියෙහි උපන්නේ දියෙහි වැඩුනේ දිය පැනගෙන නැගී දියෙන් අනුපලිප්තව සිටුනේ ද, බමුණ, එපරිදි ම මම ලොවෙහි උපන්නෙමි, ලොවෙහි වැඩුනෙමි, ලොව මැඩ ගෙණ ලෝකයා විසින් අනුපලිප්තව
වෙසෙමි. බමුණ මා බුදුහ යි දනුව.
ත්‍රිවිධ රත්නයෙන්, ධර්ම රත්නයේ මූලික ඉගැන්වීම සියල්ල අනිත්‍ය බව මෙනෙහි කිරීමයි. මහා පරිනිර්වාණ සූත්‍රයේදී අප මහා කාරුණිකයාණන් වහන්සේ (සූත්‍ර පිටකය » දීඝ නිකාය » මහා වර්ගය) සියලු සංස්කාරයන් නැසෙන සුළු ය, ලෙස දේශනා කල පරම සත්‍ය ය, අප
විසින් ජීවිතයේ විවිධ අවස්ථා වල අත් දැක ඇත. එම සත්‍යය, සිතෙහි වන වෙනස්වීම බෞද්ධ වාස්තු විද්‍යාවේ සංකේතාත්මකව ඉදිරිපත් කර ඇති සරල උපක්‍රම බොහොමයකි. ඉන් මා සිත්ගත් පළමු වැන්න වැලි ඇතුරූ බෝ මළුවයි. නිතර වෙනස් වීමට භාජනය වන මහ පොලවේ
සත්‍ය එයින් අපට මොනවට කියා පායි. අනිත් සරල, ගැඹුරු නිර්මාණය වෙසක් කූඩු සංකල්පය වේ. බොහෝ මහන්සි වී, විවිධ හැඩ වලින්, වර්ණ වලින් අලංකාර කර, අප නිමවා පරිසරයේ එල්ලන කූඩුව අවසන ගිණිගෙන දැවේ, වර්ෂාවට හසු වී විනාශ වේ. එයම අප ජීවිතය ම වේ.
බෞද්ධ ආරාම සියල්ල ම හැකි තාක් ස්වභාවික පරිසරයට අනුගතව, ආටෝපයෙන් තොරව අල්පේච්චව නිමවූයේ එනයින් මතුපිට ස්වරූපයේ වෙනස්වීම විදහා පෑමටයි.
එබැවින් මෙම සීමා මාලකයේ නිමැවුම අල්පේච්චව, ආටෝපයෙන් තොරව, ගොඩනැගිල්ලේ මූලික අරමුණ පෙරදැරිව නිර්මාණය කිරීම තුලින් ත්‍රිවිධ රත්නයේ “ධම්ම” රත්නය පිළිඹිඹු වෙතැයි මම විශ්වාස කරමි.