හරිත නගර සහ නාගරිකකරණය – 1

මුලින්ම කිව යුතු දෙයක් ඇත. මම ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන ලද අතර, මෙම ලිපි පෙළ ජීව විද්‍යා විෂය මූලික කරගත් එකක් වුවත්, මට තියනා සත දෙකෙන් ලිවීමට දරන උත්සාහයකි. ලාංකීය විශ්ව විද්‍යාල වල ජීව විද්‍යා උගතුන්, පරිසර වේදීන් මෙහි මතු වන තර්ක “සවිඥානිකව”, “හික්මීමකින්” විමසා බලා ඌන පූර්ණයන් කරනු ඇතැයි, බෞද්ධ සමාජයක හැදුනු මම අපේක්ෂා කරමි!

නාගරික පරිසර වල “ප්‍රසිද්ධ ස්ථාන” (public space) ඇති කිරීමේ සංකල්පය අතීතයේ පටන් දක්නට ලැබෙන සංසිද්ධියකි. නමුත්, විවිධ කාල වල එම සංකල්ප වල වෙනස්කම් දකින්න ද ඇති අතර ඒ සඳහා මූලිකවම ඒ ඒ කාල වල සමාජ/ආර්ථික රටා බලපෑ බව මගේ හැගීමයි. එම අතීතය මම දන්නා තරමින් ග්‍රීක අගෝරා(Agora) (https://www.britannica.com/topic/agora) තරම් ඈතට දිව යයි. මෙය වාස්තු විද්‍යාවේ ඉතිහාස පාඩමක් නොවන බැවින් ඒ ගැන කතා නොකරමි.

මෑත ඉතිහාසය ගත් විට මාගේ සිත් ගත් නගර නිර්මාණ සංකල්පයක් වන්නේ නගර සැලසුම් ශිල්පී (Urban Planner) Ebenezer Howard මූලිකත්වය ගත් “Garden city movement” සංකල්පයයි. එහි මූලික හරය මා දන්නා පරිදි, හරිත තීරු වලින් සමන්විත “සියල් සපිරි” (Self Contained) ජනාවාස ක්‍රමයක් ඇති කිරීමයි. එකී ජනාවාස වල ජනයා පරිසරය සමග ඉතා මිත්‍රශීලී, එකිනෙකාට ආදරය කරන “අතත්‍ය” (පරිපූර්ණ වායුවක් මෙන්), “සම්මත තත්ත්ව යටතේ හැසිරෙන මිනිසුන් පිරිසකි. මෙය ඔහුගේ To-Morrow: A Peaceful Path to Real Reform (1898) කෘතියෙන් එළිදකින්නේ උටෝපියානු සංකල්පයක් ලෙසිනි. එබැවින් ප්‍රායෝගික ගැටළු පැන නැගීම ස්වභාවික වුවත්, එනයින් අලුත් දේ සිතීමට අප පොළඹවන බව නොඅනුමානයි! නූතන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට මේ ගැනත් සිතා බලන්නට මම ඉල්ලා සිටිමි. එයට හේතුව හිතුවක්කාර මනුෂ්‍ය ප්‍රජාවට තද බල කනේ පහරවල් ගැසූ කොරෝනා “නව-සාමාන්‍යකරණය” අපව අලුතින් සිතන්නට දැන් පොලඹවා ඇති බැවිනි!

public spaces ලාංකික පරිසරයේ අමුතු දෙයක් නොවන බව අපි දනිමු. හද්ද නාගරික (යැයි සිතන) කොළඹ පවා පොඩි “පෙට්ටිට් කඩයක්” හොයාගන්න (ගාලු පාරේ කොල්ලුපිටියේ සමහර තැන් වල නම් ටිකක් අමාරුයි) බැරි නැති බව අපි දනිමු. දවල් කෑමෙන් පසු “තුන් පැත්තෙන් වට වී ඇති තැනක්” සොයා “කටේ පිළී රස” යවා ගන්න දුවන office ප්‍රජාව මම හොඳින් දැක ඇත. එවැනි ස්ථාන ද මගේ සත දෙක අනුව “public spaces” වන අතර එවැනි තැන්, සෝබනකම් වලින් තොර “අපේම” තැනක් කරගැනීමට අපට ගත වන්නේ සුළු වේලාවකි.

හරි, දැන් ලොකු දේට එමු. තුන් පැත්තෙන් වට වුන, දෙතුන් දෙනෙකුට පමණක් ඉඩ සලසන තැනක් “නාගරික” පරිසරයක පීඩනයෙන් සිටින සමස්ථ මනුෂ්‍ය ප්‍රජාවට මදි බව අමුතුවෙන් තේරුම් කිරීමට අවශ්‍ය නැත. කාර්මිකකරණය, ගෝලීයකරණය වගේ බර වචන වලින් ඔලුව පිරුණු රොබෝවරුන් මෙන් “දැඩි මානසික ආතතියකින්” වැඩ කරන ලොක්කන් සහ පොඩ්ඩන්, වෙන්ට පොෂ්, පොෂ්, සියලු මිනිසුන්ට මනස සැහැල්ලු කරගැනීමේ කිසියම් තැනක් අවශ්‍යයි කියා අපි දන්නවා. එතැනදී “පෙට්ටි කඩේ” පොඩි වැඩි වන අතර, ඒ සඳහා වෙනම ස්ථාන වල අවශ්‍යතාව දරුණුවට දැනේ.

කලකට ඉහත ගල්කිස්ස, ගාලු මුවදොර, ගංගාරාම අවට, විහාර මහා දෙවි පාක් එක සහ පොඩි පොඩි “හැංගුන” පොට් ටිකක් කොළඹ තිබුනත්, මිනිසුන්ගේ වර්ධනය වන ආතතිය සමග “පවුලේ සැමට” ගොස් විනෝද වීමට, “නිකරුනේ ගැවසීමට” තව තවත් එවැනි තැන් වල අවශ්‍යතාව හොඳින්ම මතු වෙමින් තිබිණ.

සෝමාලියාවට පාන් කෑල්ලක් දැම්මා මෙන් “MC” එක ආපු මුල් කාල වල පොෂ්/වෙන්ට පොෂ් ඔක්කොම එතනට අදුන හැටි අපි දනිමු. ඒ වෙන මොකක්වත් නිසා නොවේ, “නිකරුනේ ගැවසීමට” තැනක් සෙවීමට අපගේ ආතතිය අපව පොළඹවන නිසාය. දැන් කාලය වෙනස්, තාලය අලුත්. බත්තරමුල්ලෙන් පටන් ගත්තොත් අද වන විට එවැනි තැන් බහුලව දකින්නට ලැබෙනු ඇත.

එවැනි ස්ථාන “බහුතරයක” සුලභව දකින්නට ලැබෙන පොදු ගුණාංගය එක්කෝ “වතුර”, එක්කෝ “ගස්” හෝ ඒ දෙකම. Food Courts සහ shopping mall අමතක කරමු. පෙර කී “ගස්” සහ “වතුර” යනු අප ඇස නිතර සොයන, ප්‍රිය කරන ලෙස මොළයට ජාන මගින්ම කේතනය කරන ලද ස්වභාවික සම්පත් දෙකකි. මෙයිනුත් මම නිතරම කියන “biotic layer” එකේ තිබෙන ගස් නිසා රත් වුන නාගරික පරිසරයක් සිසිල් කිරීම මෙන්ම, ඒ හා බැඳුනු විශේෂ සත්ව ප්‍රජාවන් අලුතෙන් ඇති වීම බලා සිටීම ආශ්වාදජනකය.

හද්ද නාගරික නොවුවත්, කටුබැද්ද වෙල හාරා ඇති කරන ලද කෘතීම ජලාශය නිසා බේරේ වැවේ නිතර දකින පෙලිකන් වර්ගයේ සංචාරක පක්ෂීන් (කුරුළු විශේෂඥයෙක් නොවෙමි) සහ මෑතකදී දකින ලද කිඹුලන් හා ඇති වුන පරිසර පද්ධතිය, කලින් බොල්ගොඩ ගඟ හා අත්තිඩිය කේන්ද්‍ර කරගත් eco-system එක පුළුල් වූවා යයි මම සිතමි. මේ හා සමානවම, ලුනාව කලපුව ආශ්‍රිතව කල urban regeneration නිසා එහි කලින් මන්දගාමී වූ eco-system එක නැවත පණ ගැන්වුන බව මොරටු මිනිස්සු දනිති. නමුත් මෙහිදී අනිවාර්යයෙන් මතක් කල යුතු කරුණ නම්, බොල්ගොඩ පරිසර පද්ධතිය මේ සියල්ලට ජීවය දෙන බව අප අමතක නොකළ යුතුය. ඒ නිසා එය රැක ගැනීම, සංරක්ෂණය අප අනිවාර්යයෙන් කල යුතුය.

අද ලිපිය අවසන් කිරීමට කලින්, මේ “සංරක්ෂණය” ගැන මට දෙයක් කිව යුතුය. මම දන්නා පරිදි සංරක්ෂණ ප්‍රදේශ මූලිකව

1). national parks,

2). strict nature reserves,

3). wildlife sanctuaries

ලෙස කාණ්ඩ කල හැක. නමුත්, (Ishwaran, 2001) ට අනුව, “human environment” සංකල්පය ස්ටොක්හෝම් සම්මුතියට සමගාමීව වර්ධනය විය. මේ සංකල්පය අලුත් නොවන්නේ මම කලින් කියූ Garden city movement සංකල්පය ද මේ හා නෑකම් කියන බවට මා විශ්වාස කරමි. Human  environment සංකල්පය සමග ඉහත “protected areas” මිනිසාට සම්පූර්ණයෙන් වසා තැබීමින් ආරක්ෂා කරගත හැකිද යන විචාරය බහුලව මතුවන්නට විය. සරල උදාහරණයකට, ගමේ මනුස්සයෙකුට කැලේ දර කෑල්ලක් කඩා ගැනීමට අවසර තිබිය යුතු අතර වැදි පරපුරට ඔවුන්ගේ අවශ්‍යතා වලට කැලය ඇතුලට යාමේ “මානුෂීය” අවශ්‍යතාව ඇතිවිය. අප සැමවිට හැකිතාක් Abiotic, Biotic, Cultural යන ස්ථර තුන සිතේ තබා ගත යුතු අතර මේ ගැන මම කලින් ලිපියක (පරිසර වේදය සහ සංවර්ධනය- https://lankacitizens.com/social/පරිසර-වේදය-සහ-සංවර්ධනය/) කතා කල අතර, තව දුරටත් cost-benefit analysis තුලින් විශ්ලේෂනාත්මකව තීරණ ගත යුතු බව සිහිපත් කරමි.

මේ පිලිබඳ මගේ සත දෙක කියමින් අදට නවතිමි. අපි දෙයක් නීති දා තද කරන්න කරන්න “හොර වැඩ” වැඩියෙන් සිදුවන බව මගේ පුද්ගලික විශ්වාසයයි. අපිට ලංකාවෙන්ම ගන්න පුළුවන් සරල උදාහරණය, අපි දන්නා “උන්මාද චිත්‍රා” කතා වස්තුව කියවා බලන්න.

තව කියවිය යුතු!

  • 10-19 Fernando [Online] / auth. Fernando A B // Asian Elephant Specialist Group. – July 1993. – 04 24, 2019. – https://www.asesg.org/PDFfiles/Gajah/10-19-Fernando.pdf.
  • Asian Elephants as Agricultural Pests: Damages, Economics of Control and Compensation in Sri Lanka [Journal] / auth. Tisdell Clement Allan and BANDARA R.W.T.M.. – [s.l.] : Natural resources journal. – Vol. 42.
  • Attidiya wetlands: Species under threat as land reclamation begins [Online] / auth. News First // News 1st. – 12 31, 2013. – 04 24, 2019. – https://www.newsfirst.lk/2013/12/31/land-reclamation-undertaken-attidiya-wetlands-large-number-species-threat/.
  • Bellanwila Attidiya Sanctuary Under Threat [Online] / auth. Daily Mirror // Daily Mirror. – 01 13, 2013. – 04 24, 2019. – http://www.thesundayleader.lk/2013/01/13/bellanwila-attidiya-sanctuary-under-threat/.
  • Challenges in integrating the concept of ecosystem services and values in landscape planning, management and decision making [Journal] / auth. Groot R.S. de [et al.] // Ecological Complexity. – 2010. – Vol. 7. – pp. 260-272.
  • Ecological Approach to Resource Survey and Planning for Environmentally Significant Areas The ABC Method. [Journal] / auth. Bastedo J, Nelson G and Theberge J // Environmental Management. – 1984. – 2 : Vol. 8. – pp. 125–134.
  • Ecological Planning: A Historical and Comparative Synthesis [Book] / auth. Ndubisi Forster and Steiner Frederick R. – Baltimore : John Hopkins University Press, 2002.
  • Environmental Profile and Management Plan: Negombo Lagoon [Book] / auth. National Aquatic Resources Research and Development Agency (NARA). – [s.l.] : Draft, 2017.
  • Integrating Elephant Conservation with Protected Area Management in Sri Lanka [Journal] / auth. Ishwaran Natarajan. – [s.l.] : Gajah, 2001. – Vol. 20.
  • Mangrove diversity in Muthurajawela and Negombo lagoon wetland complex, Sri Lanka: insights for conservation and management [Article] / auth. Prakash T. G. Supun Lahiru, Withanage Amila and Kusuminda Tharaka // Wildlanka. – [s.l.] : Department of Wildlife Conservation, Sri Lanka., 2017. – 3 : Vol. 5.
  • Sustainable Colombo Core Area Project (SCCP II) – CITY PROFILE – Negambo Municipal Council [Book] / auth. UNDP / UN-Habitat – Sustainable Cities Programme (SCP). – [s.l.] : UN-Habitat (SCP), Government of Sri Lanka (Western Provincial Council), Negambo Municipal Council, SEVANATHA – Urban Resource Centre (Local Partner Institution), 2002.

 

 

Add a comment

*Please complete all fields correctly

Related Blogs

Posted by Tharinda Dissanayake | March 16, 2021
පරිසර වේදය සහ සංවර්ධනය
ෂිංගු නදීතෙර ජල දහරාවන් අවුරා, බෙලේ මොන්ටේ වේල්ල තනා ජල විදුලි බලාගාරයක් තැනීම වගේ උදාහරණ අරගත් "සංවර්ධනයේ අවුල" ගැන ලියවුන ලිපි කියවමි. මට ඇති ගැටළුව "සංවර්ධනය යනු දෙපැත්ත කැපෙන කඩුවක්"...
Posted by Tharinda Dissanayake | December 24, 2020
The dilemma of words – Wet Kitchen / Dry Kitchen / Pantry / Kitchen – Do we need all in Sri Lanka?
  Fig - Architect's Design for a "dry" kitchen - http://tdaarchitects.com/portfolio/proposed-residence-at-bandaragama/ As an architect, I always get a query to clarify what is "wet kitchen" and "Dry Kitchen". Some refer simply,...
Posted by Tharinda Dissanayake | July 27, 2020
What is Architecture and Why we need it?
The Britannica Encyclopedia offers a good explanation about Architecture; the art and technique of designing and building, as distinguished from the skills associated with construction. The practice of architecture is...