ගොඩනැගිලි කර්මාන්තයේ ව්‍යවහාරික වචන: මිනුම් ඒකක – “කියුබ් එක”

මෙම ලිපිය කියවීමට ප්‍රථම, මාගේ, ඒකක පිලිබඳ මූලික විග්‍රහයන් සම්බන්ධයෙන් වන ලිපි පෙළ කියවනවා නම් වඩාත් ඵලදායි වේ යැයි සිතමි. ඒ සඳහා වන යොමු පහත පරිදි වේ.

http://tdaarchitects.com/2019/12/27/from-tape-to-space-fundamentals-of-spatial-measuring-part-1-introduction/

http://tdaarchitects.com/2020/06/06/from-tape-to-space-fundamentals-of-spatial-measuring-part-2-units/

http://tdaarchitects.com/2020/06/06/from-tape-to-space-fundamentals-of-spatial-measuring-part-3-measuring-tools/

අප රටේ ව්‍යවහාරයේ පවත්නා ඒකක වර්ග දෙකක් ගැන මම විස්තර කරන ලදී.

1). අන්තර්ජාතික ඒකක පද්ධතිය (SI unit system) –

ප්‍රංශයේ Système international (d’unités) (SI) යනු නූතන මිනුම් ක්‍රමයයි. එය නිශ්චිත අර්ථදැක්වීමක් සහිතව ලොව ඕනෑම තැනක ඉතා නිවැරදිව භාවිතාකල හැකි ඒකක පද්ධතියකි. උදාහරණ ලෙස ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ දිග මැනීමට අප භාවිතා කරන්නේ මීටරයේ උප-මානයක් වන මිලිමීටරය (එනම්, මීටරයෙන් 1000 න් පංගුවක්) යන ඒකකයයි. එයට ප්‍රධානතම හේතුව, ප්‍රායෝගිකව මිනිය හැකි උපකරණයක් වන රූලක් භාවිතයෙන් අපට ඉතා පහසුවෙන් ගත හැකි කුඩාම මිම්ම වීමය.

අනිත් අතට, SI ක්‍රමයෙන් ඊටත් කුඩා මිමි ගැනීමට ක්‍රම ඇතත් (උදා: මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය) එතරම් කුඩා මිම්මක අවශ්‍යතාවය මතුවන්නට තරම් ඉඩක් ප්‍රායෝගිකව ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ මතු නොවන නිසා යයි කීම යුක්ති යුක්තයයි මම සිතමි. වාහනයක එන්ජිමක් බෝ(ර්) කිරීම තරම් නිරවද්‍යතාවක් ඉදිකිරීම් වැඩ වලදී අපට අවශ්‍ය යයි ඔබට හැඟේ නම්, අපට එසේ කිරීමට බාධාවක් ද නැත.

2). පාරම්පරික ඒකක පද්ධතිය (Imperial Scale System) –

අතීත මිනිසා යනු ස්වභාවධර්මයට හොඳින් හැඩගැසුන, එහි කොටස්කරුවන් වෙමින් ස්වභාවධර්මයට යම් යම් වෙනස්කම් කරමින් ඒ හා උරෙනුර ගැටුණු සත්ව කොට්ටාශයක් යයි කිවහොත් නිවැරදිය. එයට හොඳම උදාහරණය ඔවුන්ගේ මිමි ගැනීමේ උපාය මාර්ග වේ. එහිදී ඔවුන්, ඔවුනට පහසුවෙන් ගතහැකි, ඉක්මනින් අවබෝධ කරගතහැකි උපාය මාර්ග යොදාගනු ලැබී යැයි කිවහොත් නිවැරදි බව සිතමි.

මේ සඳහා මට ගත හැකි සරලම උදාහරණය, අපි කවුරුත් දන්නා “අඩිය” යන මිම්ම ය. මෙම ඒකකය, ග්‍රීක, රෝම, චීන, බ්‍රිතාන්‍ය සමාජයේ භාවිතා වුනි. කාර්මික ප්‍රයෝජනයට එම ඒකකයට ජාත්‍යන්තර අර්ථදැක්වීමක් දුන්නේ ඇමෙරිකානු එක්සත් ජනපදයයි. මෙම ඒකකය මිනිසාගේ පාදයේ අඩිය ආශ්‍රිතව ගොඩනැගී ඇත. සාමාන්‍යයෙන් වැඩුණු යුරෝපීයයෙකුගේ අඩිය ඔහුගේ උසෙන් 15.3% පමණ වේ. එබැවින් අඩියට නිරපෙක්ෂ අගයක් දීමට නොහැකි වූයේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට එම “වැඩුණු මිනිසාගේ” උස වෙනස් වූ නිසාය. නමුත්, දුර ගැන නිසි අවබෝධයක් ලබාගැනීමට තම ශරීරයට සාපේක්ෂව ලබාගත් අගයන් සැසඳීම, නොදන්නා “අමුතු” ඒකකයක් යොදාගෙන කරනවාට වඩා පහසු බව නොරහසකි. එබැවින් “අඩිය” මිනිසුන්ට වඩාත් සමීප විය.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාවට ද, එය එසේම විය. නමුත්, අපට අපේම ඒකක පද්ධති තිබුන ද (උදා: වඩු රියන), ඒවා අභාවයට යමින් තවමත් මෙම ඒකකය අප බාස් උන්නැහේලට සමීප වීමට හේතුව මම අද ද නොදනී.

දැන් අපි මාතෘකාවට යොමු වෙමු. ඔබ අප නිතර අසා ඇති කියුබ් එක ගැන. ගල් කියුබ් එකක්, වැලි කියුබ් එකක්, ගෙදර හදන්න හාඩ්වෙයාර් එකෙන් ගන්න. මේ දවස් වල පස් කියුබ් එකක් කීයද? ඔහොම දේවල් ගෙවල් හදන අපිට නිතර අහන්න ලැබෙන සරල වැකි කීපයකි. කියුබ් එක කියන්නේ මොකද්ද? ඒකෙ අගය කීයද? අප බොහෝ අය ඇඹරෙමින් දෙන උත්තරය “කියුබ් එක කියන්නේ කියුබ් එක” යැයි විය යුතුය.

සරලවම ගතහොත් කියුබ් එක කියන්නේ ඝන අඩි 100 කට කියන තනි නම. ඒ කියන්නේ කියුබ් එකක් කියන්නේ ඝන අඩි සියයයක්. පස් කියුබ් එකක් කියන්නේ එම පස් වල සම්පූර්ණ පරිමාව ඝන අඩි සියයයක් කියන එක. එතකොට කියුබ් කාලක් කියන්නේ? 100/4 = ඝන අඩි 25 ක්.

දැන් අපි මෙච්චර කල් හිතාගෙන හිටිය විදිහ ප්‍රශ්නගතයි නේද? අපි හිතුවේ කියුබ් එකක් කියන්නේ පොඩි කැන්ටර් ලොරියකින් එකක් කියල නෙමෙයිද? දැන් අපි කොහොමද ඕඩර් කරපු ගල්/වැලි/පස් ප්‍රමාණය හරියටම කියුබ් එකක් ද කියල තහවුරු කරගන්නේ?

සරලයි. පරිමාව කියන්නේ මොකක්ද? දිග x පළල x උස.

එහෙනම්, ලොරියේ බක්කියේ දිග, පළලින් වැඩි කරලා, උසේන් වැඩි කරමු ඉස්සෙල්ලම. එහෙම එන උත්තරේ 100න් බෙදුවම ලොරියේ හරි පරිමාව කියුබ් වලින් එනවා. වඩාත් නිවැරදි වෙන්න නම්, අපි මෙම පරිමා ගණනය අඟල් වලින් කරන්න ඕන. ඒ කියන්නේ අඟල් වලින් බක්කියේ දිග, පළල, උස ලබා ගත යුතුයි. මොකද අඩි වලින් මැන්නම අපේ මිනුම වරදින්න තියන සම්භාවිතාව වැඩියි. සාමාන්‍යයෙන් අපි දන්නවා මිනුමක වැරදීම දෙන්නේ ඒ මිනුම ගන්න උපකරණයේ (උදා ටේප් එකේ) කුඩාම ඒකකයෙන්. අඩි වල කුඩාම ඒකකය “නූල” නම් වේ. එනම් අඟලෙන් 1/8ක්. ඊටත් කුඩාවට මිණිය හැක, එනම් සමහර විට ඊටත් කුඩා 1/16 හෝ 1/64. හැබැයි ලොරියක බක්කිය මැනීමට එතරම් නිරවද්‍යතාවයක් අනවශ්‍යයි. ඉතින්, මෙතැනදී, අඩි වල කුඩාම ඒකකය අඟල් ලෙස සලකමු.

ඒක නිසා අපි අඟල් වලින් මිමි ගත යුතුයි. එහෙම ගත්ත අගයන් ටික වැඩි කරලා එන උත්තරේ (ඒ කියන්නේ ඝන අඟල්) ඝන අඩි වලට පරිවර්තනය කරන්න උත්තරේ 12x12x12 (ඒ කියන්නේ 1728ක්) න් බෙදන්න ඕන. ඒ උත්තරේ (ඒ කියන්නේ ඝන අඩි) 100න් බෙදුවම ඔන්න උත්තරේ එනවා.

උදාහරණයක් ගමු. ලොරියක බක්කියේ දිග, පළල සහ උස පිලිවෙලින් අඟල් 132 (අඩි 11), අඟල් 72 (අඩි 6), අඟල් 48 (අඩි 4) යයි සිතමු. එනම්, බක්කියේ පරිමාව ඝන අඟල් = 132 x 72 x 48 = 456,192. මේ අගය 1728 න් බෙදුවහම, උත්තරය ඝන අඩි වලින් 264. ඒ උත්තරය 100න් බෙදුවහම, උත්තරය 2.64 යි. ඒ කියන්නේ මේ බක්කියට කියුබ් 2.6ක පස්/ගල්/වැලි ලෝඩ් එකක් දාන්න පුළුවන්.

දැන් රටේ ඇත්ත තත්වේ ගමු. ගොඩක් ලොරිවල ඇත්ත පරිමාව ඝන අඩි 100 ට (එනම් කියුබ් එකට) අඩුයි. ගොඩක් වෙලාවට ඝන අඩි 90 (කියුබ් 0.9), ඝන අඩි 80 (කියුබ් 0.8), ඝන අඩි 75 (කියුබ් 0.75) වගේ විවිධ අගයන් ගන්නවා. ඕඩර් කලේ කියුබ් එකක්. හැබැයි ගෙනැල්ල බාන්නේ බොහෝවිට කියුබ් 0.9 හෝ ඊට අඩු ප්‍රමාණයක්. රැවටිලා නේද?

සමහරු කියුබ් එක ලංකාවේ අඩුම මිලට දෙන්නේ ඔය සෙලම්මෙන් විය හැකිය! පරෙස්සමෙන්! අවබෝධයෙන් වැඩ කලොත් අන්දන්න බැරි වෙයි!

Add a comment

*Please complete all fields correctly

Related Blogs

Posted by Tharinda Dissanayake | March 21, 2021
හරිත නගර සහ නාගරිකකරණය – 1
මුලින්ම කිව යුතු දෙයක් ඇත. මම ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන ලද අතර, මෙම ලිපි පෙළ ජීව විද්‍යා විෂය මූලික කරගත් එකක් වුවත්, මට තියනා සත දෙකෙන් ලිවීමට දරන උත්සාහයකි....
Posted by Tharinda Dissanayake | March 16, 2021
පරිසර වේදය සහ සංවර්ධනය
ෂිංගු නදීතෙර ජල දහරාවන් අවුරා, බෙලේ මොන්ටේ වේල්ල තනා ජල විදුලි බලාගාරයක් තැනීම වගේ උදාහරණ අරගත් "සංවර්ධනයේ අවුල" ගැන ලියවුන ලිපි කියවමි. මට ඇති ගැටළුව "සංවර්ධනය යනු දෙපැත්ත කැපෙන කඩුවක්"...
Posted by Tharinda Dissanayake | December 24, 2020
The dilemma of words – Wet Kitchen / Dry Kitchen / Pantry / Kitchen – Do we need all in Sri Lanka?
  Fig - Architect's Design for a "dry" kitchen - http://tdaarchitects.com/portfolio/proposed-residence-at-bandaragama/ As an architect, I always get a query to clarify what is "wet kitchen" and "Dry Kitchen". Some refer simply,...